Saturday, April 7, 2012

අපේ කාලයේ කෙල්ලෙක් සහ කොල්ලෙක්


 

  ලස්සන පුංචි කෙල්ලෙකුයි , අහිංසක පාට කොල්ලෙකුයි OPD එකට ආවා..... මමත් සුපුරුදු විදියල හිනා වෙලා ඒ දෙන්නව පිළිගත්තා.කොහොමත් මම කැමතියි මගෙ වයසට ගැලපෙන කට්ටිය එනවට බේත් ගන්න....‍ෆිට් එකේ කතා කරන්නවත් පුලුවන්නෙ.. (මගෙ වයසෙ කිවුවට මොකද ඒ දෙන්නගෙයි මගෙයි වයස පරතරය අවුරුදු පහක් හයක් විතර... )
 දෙන්නම ටිකක් ලැජ්ජාවෙන් වගේ....
 "මොකද මේ පැත්තේ...?" මම ඇහුවෙ නෑ.. ඒ වගේ බැලුවා. ඒත් තවමත් ඒ දෙන්නම නිශ්ශ්බ්දයි.
මොනව කරන්නද..මම මගෙ හිතේ තිබුන ප්‍රශ්නය වචන වලට හැරෙවුවා......
 "මම ප්‍රෙග්නන්ට් ද කියල බලාගන්න ඕනා මට.." කෙල්ල බිම බලාගෙන උත්තර දුන්නා. ඒ වෙලාවෙයි මට තෙරුනේ මේ දෙන්නාගේ ලැජ්ජාවට හේතුව. කොහොමත් පළවෙනි බබා ගැන දැනගන්න එනකොට අම්මලා ටිකක් මේ වගේ ලැජ්ජා වෙනවා මට අමුතු දෙයක් නෙමෙයි...
ඒත් ඉතින් අදාල පරීක්ෂණ වලින් කියවුනේ එයා ප්‍රෙග්නන්ට් නැහැ කියලා...මට ටිකක් විතර දුකත් හිතුනා.. බලපොරොත්තු වුන සතුට ඒ දෙන්නට දෙන්න නොලැබුන එක ගැන....
"ම්ම්ම්.... මේකෙ විදියට නම් පරීක්ෂනය නෙගෙටිව්...කමක් නෑ ඔයාලාට තව ඕනා තරම් කල් තියනවානෙ..." මම එහෙම කිවුවා.ඔන්න එතකොට තමයි අර කෙල්ලගෙ මූනට එලියක් වැ‍ටුනෙ.. ඇත්තමයි එලියක් වැ‍ටුනා. කොල්ලාත් සැනසුම් සුසුමක් හෙලුවා... මොකද මේ වෙන්නෙ.. මට හිතා ගන්නත් අමාරුයි වගේ..
"මේ ටෙස්ට් එක නෙගටිව් කියන්නෙ මම ප්‍රෙග්නන්ට් නෙමේ කියන එක ද?" කෙල්ල ආයෙමත් අහනවා සැකයෙන් වගේ.. ඔන්න ඒ වෙලාවෙ නම් මටත් පුංචි සැකයක් වගේ එකක් මතු වුණා....
"පොඩ්ඩක් ඉන්න.. ඔයාලා බැඳලා නැද්ද??? "
එහෙම අහනකොටම මම දැක්කා කොල්ලා ගෙ කරේ එල්ලාගෙන හිටිය ක්ලාස් ගෙනියන බෑග් එකයි, අතේ තිබුනු ෆයිල් කවරෙ තිබුන ටියුට්ස් ටිකයි... ඉතින් තව වෙන මොන කතා ද... මට ඒ දෙනාට කියන්න දෙයක් හිතා ගන්න ටිකක් අමාරු වුනා...
"ඔයාලා ආයෙ මේ වගේ වැඩ කරන්න එපා" කියන්නද? එහෙම කියන එක හරිද වැරදිද කියන එකටත් වඩා මට හිතුනෙ එහෙම කියලා වැඩක් තියනවාද කියන එකයි...
කොහොම හරි මම අන්තිමට කිවුවෙ "ආයෙමත් මේ වගේ දෙයක් වෙනවා නම් පරිස්සම් වෙන්න.. ඒ වගේම පැය 72ක් ඇතුලත ගන්න බේත් පෙත්තක් තියනවා...ඒක ගන්න....."
ඒ දෙන්නා සතුටින් (?) ආපහු ගියා.
මම තවමත් කල්පනා කරනවා මම දුන්න උපදෙස හරිද කියලා... ලංකාව වගේ රටකට මේ වගේ උපදෙසක් දෙන එක හොඳ මදි කියලා කාට හරි හිතෙන්නත් පුළුවන්
...ඒත් ලංකාව කියලා මේ වගේ දේවල් සිද්ද නොවී තියෙන්නෙත් නෑනෙ.. ඒ නිසා ආයෙත් වෙන වැරදීමකින් ඒ කෙල්ලගෙ ජීවිතේම අඳුරු වෙනවා ට වඩා,ඒකෙන් මොකක් හරි හොඳක් වෙයිනෙ..


 මොනවා වුනත් මම සතු‍ටු වෙනවා "ඔයා ෆෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න... ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙන්න.. ඒ සේරටම කලින් ගෙවල් වලට කියලා බඳින්න" කියලා කියන්න සිද්ධ නොවුනු එක ගැන නම්..


ඒ මොනවා වුනත් ආදරේ එක්කම පැටලෙන මේ වගේ දේවල් වලින් අපේ පුංචි කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ජීවිත බේරාගන්න මොකක් හරි සාර්ථක ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා..

ඉහත ලිපිය මම ගත්තේ http://lokayekonaka.blogspot.com යන සබැදියෙන්. ඔයාලත් ගිහිල්ලා බලන්න. මොකද හිතෙන්නේ මේ ලිපිය ගැන. මට ඔයාලගේ අදහස් දැන ගන්න කැමතියි

2 comments:

  1. නියම වැඩක් , දිගටම කරගෙන යන්න මචං ,
    වැදගත් දේවල් බොහොමයක් තියෙන මේ වගේ බ්ලොග් හැංගිලා තියෙන්නේ ඇයි කියන එක තමයි දුක ,

    ReplyDelete